චීනයෙන් යළි ඇරඹෙන “කොරෝනා”ලොව පුරා නැවතත් පැතිරේද?

‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවේ යැයි ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වුණා පමණි. දැන් යළිත් ‘කොවිඩ් 19’ ගැන බියක් මතු වී ඇත. ඒ, චීනයේ ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය ඉහවහා යෑමත් සමඟය. දෛනිකව, දස දහස් ගණනින් ආසාදිතයන් වාර්තා වීමට පටන් ගනිද්දී චීනයේ සෑම නගරයකම රෝහල් පිරී ඉතිරී ගියේය. ආදාහනාගාරවල මළ සිරුරු ගොඩගැසෙන්න විය. ආසාදිතයන් සහ මරණ ඉහවහා යද්දී, ඒවා දෛනිකව නිවේදනය කිරීම පවා චීන සෞඛ්‍ය බලධාරීන්ට හිසරදයක් විය. ඒ අනුව, පසුගිය 26 වැනිදා චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේ තව දුරටත් දෛනිකව ‘කොවිඩ් 19’ ආසාදිතයන් හෝ මරණ හෝ නිවේදනය නොකරන බවය. මේ අතර, ‘කොවිඩ් 19’ වයිරසය සමඟ ජීවත් වීමට හුරුවෙනවා හැර වෙන කළ හැකි දෙයක් නොමැති බව චීන සෞඛ්‍ය විශේෂඥයන් එරට වැසියන්ට පැහැදිලි කර තිබේ. 

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තියේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේය. වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. 2020 වසර ආරම්භයේ දී, ‘කොවිඩ් 19’ වයිරසය, බිහිසුණු ආකාරයට චීනය කැලඹුවේය. 2020 මාර්තු සහ අප්‍රේල් වනවිට ‘කොවිඩ් 19’ ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්විය. මළසිරුරු ගොඩ ගැසෙමින් මරණ වාර්තා වූයේ අප කා තුළත් මරණ බිය ඇති කරමිනි. සාර්ථක එන්නත්කරණයත් සමඟ 2021 වනවිට ලෝකයේ ‘කොවිඩ් 19’ බිය කෙමෙන් පහව යන්න විය. උප ප්‍රභේද නිර්මාණය කරමින්, ‘කොවිඩ් 19’ වයිරසය ද සැර බාල වී ගියේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් ලෙසය. 
ලෝකයේ තත්ත්වය එසේ වුවත්, චීනයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් විය. සෙසු රටවල ‘කොවිඩ් 19’ සීමා සහ තහංචි ක්‍රමාණුකූලව ලිහිල් වෙද්දී චීනයේ එවැන්නක් සිදු නොවිණි. ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ, රජයට උපදෙස් දෙමින්, ‘ශූන්‍ය කොවිඩ්’ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එය මෙසේය; ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා එක් ආසාදිතයකු හමුවුණු සැණින්, එම ආසාදිතයා සහ ඔහුගේ සියලු‍ම ආශ්‍රිතයන් පමණක් නොව, ඔහු පදිංචි ගම්මානය, නගරය, පළාත දිස්ත්‍රික්කය, ප්‍රාන්තය ආදී වශයෙන් මිලියන ගණනක් දෙනා එකවර ලොක්ඩවුන් කරයි. පිටවී යෑමට කිසිවකුටවත් අවසර නැත. ආසාදිතයන් නිරෝධායනයට යොමු කෙරේ. මිලියන ගණනින් ලොකු කුඩා සියලු‍ දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු කෙරේ. එය සිදුවන්නේ බලහත්කාරයෙනි. 


ආරම්භයේ දී වෙන කළ හැකි කිසිවක් නොවුණු බැවින් චීන වැසියන් ඊට අකැමැත්තෙන් හෝ කැමැත්තක් දැක්වීය. කල් යවද්දී, ‘කොවිඩ් 19’ සැර බාල වී ලෝකයේ සෞඛ්‍ය නීති සහ සීමා ලිහිල් වෙද්දී, චීනයේ ‘ශුන්‍ය කොවිඩ්’ ප්‍රතිපත්තිය නොවෙනස්ව පැවැතීම චීන වැසියන්ගේ නොසතුටට හේතුවක් විය. සති ගණනක්, මාස ගණනක් ලොක්ඩවුන් වී සිටීම චීන වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරන්නට විය. ජන ජීවිත අවුල් විය. 


පසුගිය මාස කීපයේ පටන්, චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ පාලක කොමියුනිස්ට් පක්ෂ රජයට දැඩි ජනතා විරෝධයක් එල්ල වන්නට විය. බෙයිජීං, ෂැංග්හයි ආදී ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පැවැත්විණි. පොලිස් බලය යොදා විරෝධතාකරුවන් මර්දනයට චීන පාලක කොමියුනිස්ට් පක්ෂ රජය කටයුතු කළේය. මෑත ඉතිහාසයේ චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයට විරෝධයක් එල්ල වුණු පළමු අවස්ථාව මෙය බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. 


චීන වැසියන් දරුණු ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප්‍රමුඛ බටහිර රටවල් චීනයේ මානව හිමිකම් කඩවෙනවා යැයි චීන රජයට දොස් නගන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ චීන රජය සහ සෞඛ්‍ය අංශ අකැමැත්තෙන් වුවත් ‘ශුන්‍ය කොවිඩ්’ ප්‍රතිපත්තිය යටතේ පනවා තිබූ සීමා බොහොමයක් ලිහිල් කිරීම සහ ඉවත් කිරීමය. නගර සහ පළාත් මට්ටමින් ලොක්ඩවුන් කිරීම නවතා දැමුණි. ඒ සමඟම චීනයේ ‘කොවිඩ් 19’ ඉහවහ යන්නට පටන් ගත්තේය. 


චීනයේ ‘කොවිඩ් 19’ ඉහවහා යෑම සිදුවූයේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උපප්‍රභේදය නිසා යැයි හඳුනා ගැණුනි. චීනයේ ව්‍යාප්ත වෙන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ ‘කොවිඩ් 19’ නව උපප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය. ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උපප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී ඇත. ඉන්දියාවෙන් ද ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ ආසාදිතයන් හමුවී ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව, ඉන්දීය සෞඛ්‍ය අංශ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ පිළිබඳ අවධානයෙන් පසුවෙයි. 


චීනයේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ දරුණු වුවත්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ජර්මනිය, බෙල්ජියම සහ ප්‍රංශය ආදී බටහිර රටවල ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ දරුණු වසංගත තත්ත්වයක් නිර්මාණය කර නැත. හේතුව, එම රටවල ක්‍රියාත්මක වුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම්ගෙබ්‍රියේසිස්, චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වයිරස ව්‍යාප්තිය පාලනය කරගන්නා ලෙසය. 
චීන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, එරට ජනගහනයෙන් සියයට 90 ක් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයකට ලක්කර තිබේ. කෙසේ නමුත්, පළමු සහ දෙවැනි මෙන්ම බූස්ටර් මාත්‍රා ලබා දී ඇත්තේ අවුරුදු 80 ට වැඩි ජනගහනයෙන් අඩකට පමණි. චීනය එරට වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘සිනොවැක්’ සහ ශ්‍රී ලංකාවේ අපටත් හුරු පුරුදු ‘සයිනෝෆාම්’ යන ප්‍රතිශක්තිකරණ එන්නත්ය. මෙම එන්නත් මේ වනවිට චීනයේ පැතිරෙන ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය අඩපණ කිරීමට සමත්දැයි යන්න සැක සහිත යැයි බටහිර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බටහිර නිෂ්පාදනය කළ කිසිදු ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් චීනය රජය එරට වැසියන්ට ලබාදුන්නේ නැත. 


“බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තීරණයක්. චීන ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගත්තේ බටහිර සමඟ අමනාපයකින් නොවෙයි. දේශීය වශයෙන් නිපදවූ එන්නත් ජනතාවට ලබා දීමට කටයුතු කළේ ආර්ථික වශයෙන් ස්වයං විශ්වාසයක් ඇති කිරීමටයි. විදේශයකින් එන්නත් ආනයනය කරනවාට වඩා දේශීය වශයෙන් නිපදවූ එන්නත් තම ජනතාවට දීමට චීන ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දැක්වූවා” යැයි චීන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂක ආචාර්ය යූ ජී බීබිසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පැහැදිලි කර තිබේ. 

සටහන:
ලු‍සිත ජයමාන්න 

(ඉරිදා ලංකාදීප මගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *