මවට දියණියට ඉතා වැදගත් මල්වරයේ සැබෑ වගතුග!

ලොවෙහි පැවැත්මට මල්වරය ප‍්‍රධාන වන බව වරෙක ධන්වන්තරී නම් මහමුණි විසින්ද ප‍්‍රකාශ කරනු ලැබුවේ විශේෂයෙන්ම වෛද්‍ය, ජ්‍යොතිෂය යන ශාස්ත‍්‍ර දෙකෙහිම මල්වරය පිළිබඳව ඉතා දීර්ඝ ලෙස සඳහන්කර ඇති කරුණු කාරණා හේතු කොටගෙනය.

ආර්තව යනු ස්තී‍්‍රන්ගේ (ගැබ් දැරීමට සුදුසු) ඔසප්වීම, මාස්වීම යනාදියට නමකි. ආර්තවය විශේෂයෙන් ප‍්‍රථමාර්තවය සහ ඉන් ඉක්බිතිව ස්තී‍්‍රන්ට මසක් පාසා වන ආර්තවයයි කියා මෙම ආර්තවය කොටස් දෙකකට බෙදේ. බොහෝ සෙයින් ම ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයෙහි දී කරුණු ගෙනහැර දක්වනු ලබන්නේ එම ප‍්‍රථමාර්තවය සඳහා පමණි.

එබැවින් ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයෙහිදී මේ සම්බන්ධව ප‍්‍රකාශිත නොයෙක් සාරවත් කරුණු ඇති බැවින් නාරද, වශිෂ්ඨ, ඝර්ග, පරාශර ආදී මහා ඍෂීන් විසින් ගෙනහැර දක්වන ලද විවිධ ගණයේ විශිෂ්ඨ උපදේශ ශාස්ත‍්‍ර නියමයන් අළලා මෙකල අප රට දෛවඥවරයන් විසින් භාවිත කරනු ලබන පැරණි පුස්තකයන්හි දක්වා ඇති ශාස්ත‍්‍ර නියම අතළොස්සක් හෝ ගෙන හැර දක්වන්නේ ශාස්ත‍්‍ර නිගමනයට අනුව මල්වරය සුළු කොට තැකිය නොහැකි බැවිනි. බොහෝ විට වත්මන් සමාජයේ කිසියම් පිරිසක් මල්වර චාරිත‍්‍ර වාරිත‍්‍ර විදි නොසලකා කටයුතු කරන්නේ මක්නිසාදයත් යනවග බැලීමේදී, එයට හේතූවී ඇත්තේ ඔවුනගේ අනවබෝධය ශාස්ත‍්‍ර උපදේශනය නිසි පරිදි නොලැබීමය. පොදුවේ කිවයුතූ වන්නේ  මල්වරයට අදාළ පලාඵලද කාන්තාවකගේ අනාගත තම ජීවන ගමන් මගට බෙහෙවින් වැඩදායි අත්‍යාවශ්‍යම සාධකයක් මෙන්ම උපදේශනයක් බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම ඒ නිසාමදෝ ජන්ම කේන්දරයන්හි සටහන් වූ තොරතුරුවලට වඩා හාත්පසින් වෙනස් වූ තොරතුරු මල්වර කේන්දරයෙන් ද සටහන් වන නිසා මේ ප‍්‍රථමාර්තවයට පැමිණීම හෙවත් මල්වරවීම ස්තී‍්‍රන්ගේ ජීවිතය ප‍්‍රකෘතිමත් කිරීමක් සහ දෙවැනි උත්පත්තියක් මෙන් ද පුරාතනයේ පටන් සලකයි.

පෙරදිග අපරදිග සියලූ දේශවාසීන් කෙරෙහිම ස්තී‍්‍රන් සම්බන්ධව පවත්නා සුවිශේෂී කරුණු අතුරින් මල්වර වීම ගැන විශේෂ සැලකීමක් තිබූ බව ප‍්‍රසිද්ධ කරුණකි.

සුවිශේෂයෙන් මෙන්ම අවධාරණයෙන් කිවයුතු වන්නේ ස්ති‍්‍රයකගේ දෙවැනි උත්පත්තියක් ලෙස සලකන මල්වර කේන්දරයේ ඇති වටිනාකම එතරම් ම වන හෙයින් කොයි ස්ති‍්‍රයත්, තමා වැඩිවියට පැමිණි වර්ෂ, මාස, දින ආසන්නම වේලාව යන කරුණු ද මතකයේ තබාගෙන සිටීම ඇයගේ ජීවන ගමන කෙසේද යන්න තේරුම් ගැනීමට පිිටිවහලක් වන බව සිතට ගෙන කටයුතු කරන්නේ නම් මැනවි.

බොහෝ විට මල්වර වීමට පෙර හොඳ හැසිරීමෙන් යුක්ත වූ දැරියන් මල්වරයෙන් පසු තම හැසිරීම් රටාව අප‍්‍රසන්නතාවට පත්කර ගන්නා අවස්ථා ඇත. මල්වරයට ප‍්‍රථම ඉතා උනන්දුවෙන් ඉගෙනීම කටයුතුවල නිරත වූ ඇතැම් දැරියෝ මල්වරයෙන් පසු අධ්‍යාපනයට ඇලූම් නොකර විනා්දස්වාදයට ලෞකික ආශාවන්ට ප‍්‍රමුඛත්වය දෙමින් කටයුතු කරන අවස්ථාද ඇතැම් මව්පියන්ගෙන් මැසිවිලි නැගෙන අවස්ථා ඇත. එසේම මල්වරවීමට පෙර අසංවරව කරදරකාරීලෙස හැසිරුනු ඇතැම් දැරියන් මල්වරවීමෙන් පසු බෙහෙවින් විනීතව සංවරව වගකීමෙන් කටයුතූ කරන තත්ත්වයන් ද පිළිබිඹුවන අවස්ථා ද දක්නට ලැබේ. මෙහිදී කිව යුතු වන්නේ ජන්ම කේන්දරයේ කිසිදු පීඩාකාරී ග‍්‍රහ බලපෑමක් නැතත් මල්වර ග‍්‍රහ බලයේ පැවැති අරිටු දෝෂ හෝ යහපත් යෙදුම් හි බලපෑම්මත මෙවැනි තත්ත්ව උද්ගත වන බවයි.

ඒ එසේවී නමුදු මල්වරය ගතානුගතික සිරිතක් එහි කිසිදු ශාස්ත‍්‍රීය පදනමක් නැැතයි පවසන ඇතැම් පිරිස් හා ජ්‍යොතිෂවේදීන් ද සිටි සමාජයක අතළොස්සක් ශාස්ත‍්‍රධරයින් මෙම මාහැඟි මල්වර ශාන්ත‍්‍රයේ වටිනාකමින් ජන සමාජයට වැඩදායක කාර්්‍යයයන් රැුසක් ඉටුකර දීමට සමත්ව තිබේ.

ඇතැමෙකුගේ තර්කය වී ඇත්තේ මල්වර වූ වේලාව නිවැරදිව සොයා ගැනීමට නොහැකි වීම මත මෙහි පලාඵල කථනය කෙසේ පැවසිය හැකිද යන්නයි. සත්‍ය වශයෙන්ම මල්වර වූ වේලාව නිවැරදිව කීමට එම දැරියද නොදනී. එහෙත් ජ්‍යෙතිෂයෙහි එම කාලවකවානුව ප‍්‍රකාශ කිරීමට ක්‍රමවෙිදයන් මෙන්ම නිසි ශාස්තී‍්‍රය පදනමක් ද පවතී. මල්වරය සිදුවන කාල විධිය පෙන්නුම් කරන සිද්ධාන්ත කොතෙකුත් ඇත. මල්වරය පිළිබඳවද ප‍්‍රකාශකළ ප‍්‍රකාශකළා වූ ඍෂිවරයෝ ද බොහෝ වෙති. එහෙත් එම ක‍්‍රමවේද අප‍්‍රකට බැවින් වත්මන් ජ්‍යොතිෂවේදීන් අතර ද ශාස්තී‍්‍රය නිගමනය දුර්ලභය.

කෙසේ වෙතත් මල්වරයද මල්වර සිරිත් විරිත් ද ජ්‍යොතිෂයට ගරු කරන ගරු නොකරන කොයි කවුරුත් ඉවත දැමීම නම් එතරම් උචිත නොවේ.

විශේෂයෙන්ම මාතෘත්වයේ ආරම්භය ලෙස හඳුන්වන මල්වරය සෞභාග්‍යයේ සංකේතය ලෙස පැරණි ශාස්ත‍්‍ර විශාරදයින් හා දැන උගත් ජනයා සැලකුවේද ඒ නිසාවෙනි. මෙම ශාස්තී‍්‍රය සිද්ධාන්ත සත්‍යය කිසි දිනෙක සමාජයෙන් තුරන් නොවන නිසා ය. එහෙයින් විශේෂයෙන් වැඩි වියට පත් නොවූ ගැහැනු දරුවන් සිටින මව්වරුන් තම දියණියගේ වයස අවුරුදු 10 ත් 14 ත් අතර වයස් කාලය තුළ ඒ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වීමද ඉතාමත් වැදගත් හා ප‍්‍රයෝජනවත් බව මෙහිදී පෙන්වා දිය යුතුය.

මෙවැනි ගැහැනු දරුවන් සිටින මව්වරුන් මව්පියන් විවිධ රැකියාවල නිරත වෙමින් නිවසින් හෝ රටින් බැහැරව වැඩිපුර කාලය යොදවන්නේ නම් එම දරුවන්ගේ පූර්ණ රැුකවරණය සැලැස්වීමත් සැලකිල්ලක් දැක්වීමත් පසුවට අනවශ්‍ය කරදර වලින් මිදීමට මහඟු උපකාරයක් ද වන බව අපගේ උපදේශයයි. ඈත අතීතයේ පටන් නොනැසී මෙතෙක් පවතින සිරිත් විරිත් ශාස්තී‍්‍රය උපදේශ පහසුවෙන් අත්හැර දමා අතුරු විපාකවලට ලක්වනවාට වඩා ඊට ගරු කරමින් එම සිරිත් විරිත් පිළිපැද ඒවායින් ඵල ප‍්‍රයෝජන ලබා ගැනීම දරුවන්ගේ සහ තම තමන්ගේ ශාරීරික මානසික කි‍්‍රයාකාරීත්වයේ යහපත් පැවැත්මට මහඟු උපකාරයක් අත්වැලක් කර ගැනීම ප‍්‍රඥාගෝචරය.

පොදුවේ මෙහිදී කිව යුතු සුවිශේෂී කරුණක් ද ඇත. එනම් ශාස්ත‍්‍ර නිගමනයට අනුව ආර්තවයට අයත් ප‍්‍රථම මල්වරය වන ක‍්‍රම සතරක් ඇත. එය ශාස්ත‍්‍රයෙහි දක්වනු ලැබේ. එනම්.

1රාග 2රෝග 3ධාතුකෝප 4නිසිකලආදී වශයෙනි.

1රාගනම්සිතෙහි හට ගන්නා යම් යම් රාගික සිතුවිලි මෙන්ම කෙනකූගේ රාගික ක‍්‍රියා හේතු කොට වුව විටෙක මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැකිය.

2 රෝගනම් වරෙක සිරුරෙහි හට ගන්නා විවිධ රෝග සහගත ගති ශරීර දුර්වලත්ව මතද මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට පුළුවන.

3 ධාතුකෝපඑමෙන්ම ධාතු කෝපයෙන්දේශගූණික හා කාලගූණික විපර්යාස හේතූකොටත් වන්නා වූ රක්ත වහනයක්ද ඇත. එසේම අඩු වයස් සීමාවලදී හෙවත් වයස අවුරුදු හතරේ සිට වයස අවුරුදු 10 ට පෙර අඩු වයස් සීමාවලදී වැඩිවියට පත්වන අවස්ථා ඇතත් ඒවා නියම වයසට වන නීරෝගී ශරීරයක් තුළ සිදුවන ශාස්ත‍්‍ර නිගමනයට අනුව වන මල්වර නොවේ. මේවායේදී යම් යම් දෝෂ සහගත ගති මතු කරයි.

බොහෝ විට මෙම ඉහත සදහන් ක‍්‍රම තූනටම හෙවත් අඩු වයස් සීමාවලදී ඇතැම් දැරියන් වැඩිවියට පත්වීමේ හේතු වශයෙන් දක්වන්නේ යම් යම් දේශගුණික විපර්යාස, කාම උදාසීනත්වය හෙවත් කළු කුමාර දෝෂය ස්වභාවිකව ගර්භාෂය නොපිහිටීම ශාරීරික අභ්‍යන්තරය ඉන්ද්‍රියයන්ගේ හට ගන්නා විවිධ දෝෂ කෝප ඇතුළු භූත දෝෂ මෙන්ම පෝෂ්‍යදායී ආහාර පාන බහුලව පරිභෝජනය කිරීම හේතුවෙන්ද අඩු වයසින් වැඩි වියට පැමිණෙන වගයි.

පොදුවේ මේවා නිසි කලට වන මල්වරය ලෙස සැලකීමක් නැතත් වයස අවුරුදු 10 සිට 14 දක්වා කාලය අතර සිදුවන ප‍්‍රථමාර්තවයට පලාඵල පවසන බව ශාස්ත‍්‍ර නිගමනයයි. එය නිසිකල සිදුවෙන නියමාර්තවයම නිසා වෙන්, ඉපැරණි පඬිවරුන් විසින් කාන්තාවට පටබැඳි නාම වශයෙන් අට අවුරුදු වයස් ගිය කුමරිය ගෞරී ලෙසද, නව අවුරුදු වයස් ගිය කුමරියට රෝහිණී යන නාමයෙන්ද දස අවුරුදුවයස් ගිය කුමාරිය කන්‍යා යන නාමයෙන් ද දස අවුරුද්ද පසුවූ කුමරියට රජස්වලා හෙවත් ඔසප්වූ ස්ති‍්‍රය යන නාමයද දක්වනු ලැබ ඇත.

වෘක්ෂ ලතාදීන්ගේ ඵල හට ගැනීමට පූර්වරූප වශයෙන් හෙවත් පෙරමඟ ලකුණු වශයෙන් පුෂ්පය ප‍්‍රබෝධවීම ලෝක ධර්මතාවකි. පුෂ්පයක් ප‍්‍රබෝධමත් වීමක් නොමැතිව එහි ඵල හට නොගනී. එබැවින් එසේ ප‍්‍රබෝධ වූ කල එහි ඵල හට ගැනීමට සුදුසු කාලය පැමිණියේ යැයි ලෝකයා අතරද ප‍්‍රකට වේ. මේ ආකාරයට ම සුදුසු වයසට පැමිණි ස්තී‍්‍රන්ගේ ප‍්‍රථමාර්තවය පහළ වීමත් වෘක්ෂ ලතාදීන්ගේ පුෂ්ප ප‍්‍රබෝධයට සමාන වේ යැයි ශාස්ත‍්‍රඥයෝ දක්වති. එබැවින් පූර්වාචාර්්‍යයයින් පුෂ්පවතී යනාදී නාමයන්ද මල්වරවීම යනාදී නාමයද මේ අදහසටම එකඟව ඔසප් වූ ස්තී‍්‍රන්ට ව්‍යවහාර කරන බව සැලකුව මැනවි.

ඇතැම් විට බොහෝ අය පුදුමයට පත්වන අයුරින්ද ආර්තවයට නොපැමිණි හෙවත් මල්වර නොවූ ස්තී‍්‍රන්ද යම් යම් අවස්ථාවල ගැබ් ගෙන ඇති අවස්ථා අසන්නට දකින්නට ලැබේ. එය අප‍්‍රකට කරුණක් වුවත් ලෝකයේ ප‍්‍රකට වූ කරුණු වලට විරුද්ධ වශයෙන් අප‍්‍රකට කරුණු සිද්ධ වීමද ධර්මතාවකි.

එබැවින් ස්ති‍්‍රයකගේ ති‍්‍රවිධ උපත හා බැඳෙන මල්වරය සහ විවාහය යන කේන්දර දෙකෙහිද සමාන කමක් පවතින බැවින් හා සමානව ගුණ දෙන බැවින් ජන්ම කෙන්දරයේ හෙවත් උපන් කේන්දර සටහනේ කොපමණ රාජ යෝග, ධන යෝග, භාග්‍ය සම්පත් උදා කරන ග‍්‍රහ යෙදුම් ඇතත් මල්වර කේන්දරයද බෙහෙවින් දුර්වල වී පාප පීඩිත වූයේ නම් ජන්ම කේන්දරයෙන් පෙන්නුම් කරන ශුභ ඵල නොලැබී අශුභ ඵල ප‍්‍රදානය වන්නේය.

උත්පත්ති කේන්දරයේ ග‍්‍රහ ඵලය දුර්වල වී අයහපත් අයුරින් පැවතියද ඇයගේ මල්වර හඳහන බලවත් නම් ඉන් අපල සමනය වී මල්වර වීමෙන් පසු භාග්‍යය වාසනාව උදාකොට පවුලටම යහපත සලකන බවද අවබෝධයට ගෙන විශේෂයෙන් කාන්තාවන් තම මල්වර දිනය මාසය වර්ෂය මැනවින් තේරුම් ගෙන ඊට අදාළ හඳහනද ජ්‍යොතිෂඥයාගෙන් ලබා ගැනීමට උනන්දු වන්නේ තම අනාගත දිවි මඟට මෙයද බෙහෙවින් පිටිවහලක් වන බව අවබෝධයට ගත යුතුය. විශේෂයෙන් මල්වරයක් වූ මොහොතට අදාළව එදිනට සම්බන්ධ පංචාංගය කෙසේ වේ දැයි බලා ඊට අදාළ ශුභාශුභ ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය ප‍්‍රධාන වන අතර එම පංචාංගයේ දෝෂ සහගත බවක් ඇත්නම් දොස් දුරු කරන පූජා විධියද කළ යුතු බව ශාස්ත‍්‍ර නියමය වී ඇත. මේ අනුව ජ්‍යොතිෂයේ උගන්වන ප‍්‍රයෝජනයට ගන්නා පංචාංගය යන් 1 දිනය 2 නැකත 3 තිථිය 4 යෝගය 5 කරණය වශයෙනි.

මෙනයින් බලන කල පංචාංගයට අයත් දිනය සම්බන්ධයෙන් ඵලාඵල බැලීමේදී කිසියම් දැරියක් මල්වරයට පත්වූ දිනයට අධිපති ග‍්‍රහයා එම මල්වරය වූ මොහොත හෝ දිනය තුළ බලවත්ව සිට උපන් කේන්දරයේ හා මල්වරය වූ මොහොතට අදාළ තත්කාල කේන්දර සටහනෙහිද බලයෙන් යුක්තව ශුභ ග‍්‍රහ සංයෝගාදියෙන්ද යුක්තව ඇත්නම් කුමන දිනයක වුවද යහපත් වන්නේය.

බොහෝ විට ඉරිදා ශනිදා හා අඟහරුවාදා දිනවල මල්වරවීම පොදුවේ ශුභ ඵල හීන යැයි නිගමනය වී ඇතත් එම දිනාධිපති ග‍්‍රහයා ඉහත සඳහන් පරිදි, උත්පත්ති කේන්දර සටහනේ බලයෙන් යුතූනම් අයහපත් නොවන බව අවබෝධයට ගන්න.

සත්දින අධිපති ග‍්‍රහයෝ

ඉරිදා – රවි ග‍්‍රහයා

සඳුදා –  සඳු ග‍්‍රහයා

අඟහරුවාදා – කුජ ග‍්‍රහයා

බදාදා – බුද ග‍්‍රහයා

බ‍්‍රහස්පතින්දා – ගුරු ග‍්‍රහයා

සිකුරාදා – සිකුරු ග‍්‍රහයා හෙවත් (ශුක‍්‍ර)

සෙනසුරාදා – ශනි ග‍්‍රහයා යනාදී වශයෙනි.

විශේෂයෙන් ඉරිදා අඟහරුවාදා සහ සෙනසුරදා දිනවල මල්වර වීම බෙහෙවින් අශුභ බවට පත්වනුයේ මෙම දින තුන මුල් කරගෙන විෂ කන්‍යා නම් අශුභ යෝගයක් යෙදෙන තත්ත්වයක් මතුවන බැවිනි.

මල්වරවූ දියණියගේ ඇවතූම් පැවතූම් වියයුතූ පිළිවෙල :-

මල්වරවූ දැරිය විශේෂයෙන්ම ස්නානයකරන සිව්දින ගතවන තෙක් කිසිදු පුරුෂ පාර්ශවයක් (තම පියාද ඇතූළුව) ඇස නොගැටෙන සේ සිටිය යුතූයි.

එසේම ගෙදර ඇතිකරන සුරතල් සතූන් ද තිරිසන් සතූන් පවා  නොපෙනෙන සේ සිටිය යුතූයි.

තමා සිටින කාමරයෙන් පිටට ඇසෙන සේ කතා නොකල යුතූයි. එසේම අදිකව කථා නොකල යුතූයි.

දත කට මැදීම, සඳ තරු අහස දෙස පවා බැලීම, වත්මන් කාලේ හැටියට සිරුරට ආලේපන සුවඳ විලවුන් වැනිදෑ තවරාගැනීම, ආලේප කරගැනීම, ආදියත් ස්නානයකරන දින සතර පසුවන තෙක් නොකල යුතූයි.

හිසකෙස් හෝ නියපොතූ කැපීමත්, හිස තෙල් ගෑමත්, තනිවම කාමරයේ සිටීමත්, නිදාගෙනම සිටීමත්, සුදුසු නැත.

එසේම තමා සුපුරුදු ලෙස ආහාර පාන ගත් කෝප්පය පිඟාන ද මේ දිනවල ආහාර පාන ගන්නාවිට භාවිතා නොකලයුතූයි.

පානයකරන කැඳ සුප් හෝ වෙනත් පානයක් පානය කලයුත්තේ පරන භාජනයක නැතහොත් සුද්දකරගත් පොල්කටුවකය.

විශේෂයෙන් වතූර පානය කල යුත්තේ දෝතින් කටතබාගෙනය. නිවසෙහි හෝ වේවා වෙහෙර විහාරෙට පූජා කරන්ට තබන මල් පහන් ගිලන්පස ආදී පූජා භාණ්ඩ පවා ස්පර්ෂ නොකල යුතූයි.

මුලින් ඇදපු ඇඳුම් පැළඳුම් මේ රාති‍්‍ර තූන තූල නොඇදිය යුතූවන අතර අළුත් ඇඳුම් පැළඳුම් ද නොඇදිය යුතූයි. පරන රෙදිවලින් සැකසූ ඇඳුමක් මෙහිදී ඇදිය යුතූයි.

එමෙන්ම මෙහිදී තම ආගමික පුදපූජා වත්පිළිවෙත්හි ද නොයෙදිය යුතූ අතර දහවලේ නිදාගැනීමෙන් ද වැලකී කවි ගී කීමෙන් ද වැලකී, සිත සැනසෙන දැහැමි මෙන්ම ආගමික ප‍්‍රබෝධය මතූවන පොත්පත් සඟරා ආදිය කියැවීමත්, උචිතබැව් පෙර පඬිවරුන්ගේ මුනිවරුන්ගේ උපදේශය වන්නේය.

වත්මන් කාලයේ තාලයට ජංගම දුරකතන භාවිතය උචිත නොවන අතර මෙම දින සතර තූල දුරකතන හෝ වේවා පරිඝණක හෝ වේවා කිසිදු තක්ෂණික උපකරණයක් පරිහරණය නොකිරීමත් කලයුතූම වේ.

තමාගේ කාන්සිය මාන්සිය හුදකලාබව පහකර ගැනීමට තනිරැුකීමට මේ දින තූන තූල ලග ෂිටීමට ඉතා සුදුසුම තැනැත්තිය වන්නේ තම මව හැරුනුකොට ඔසප් වූ කාන්තාවක් බව ද ශාස්ත‍්‍ර නියමයයි. එවැනි තත්ත්වයේ කතක් ඇත්නම් වඩාත් යෝග්‍ය බව සදහන්වේ. කෙසේ නමුත් සමවයසේ සංවර දැරියන් මේදිනවල යෝග්‍ය බව සදහන්වේ.

මෙම ඉහත සදහන් වත් පිළිවෙත් නිසිපරිදි පිළිපදින දැරියගේ අනාගත ජීවන ගමන සාර්ථක සැපවත් දිවියක් ලෙසට ගතවන බව ද ශාස්ත‍්‍ර නියමයවේ.

මෙම ශාස්තී‍්‍රය උපදේශයන් නොපිළිපැදීමෙන් වන ප‍්‍රති විපාක :-

මල්වර වූ මුල් දින 3 දහවල් කාලය තූල වැඩිපුර නිදාගැනීමෙන් බොහෝවිට ඇයට ලැබෙන දරුවන්ගෙන් එක් දරුවෙකූ හෝ කාය චිත්ත පීඩාවන්ගෙන් යුක්තවේ. නැතහොත් එක් දරුවෙකූ හෝ අකාලයේ රෝගීවී මියයයි.

එසේම මෙහිදී මුහුණ කට සෝදා පිරිසිදුවී ඇහිබැම දෙතොල් වර්ණ ගන්වා රූපාලංකාර කොට විසිමෙන් ඇයට ලැබෙන දරුවන්ගෙන්,  ඇසේ හිසේ රෝග සහිත දරුවෙක් හෝ උපදියි.

මල්වර වූ දැරිය මුල්දින 3 තූල ස්නානය කොට මුහුණ අලංකාරකොට ගතකරන්නේ නම් ඇයට ලැබෙන දරුවන් දුක්බර ජීවිත ගතකරන අය බවට පත්වේ.

වරෙක කාමරයෙන් පිටතට පැමිණ කෙනෙකූ දුටුවිට වේගයෙන් දුවගොස් කාමරයේ හිදීමෙන් ද අයහපත් දේ පසුවට සිදුවේ. ඇයට ලැබෙන දරුවෙක් හෝ දරුවන් ඔල්මාද ගතියෙන් යුක්තවීමට හේතූවේ.

හඬමින් කාලය ගතකලොත් ලැබෙන උපදින දරුවන්ගෙ ඇස්වල අමුත්තක් වෙනසක් ඇතිකරයි.

මේකාලයේදී හිස තෙල්ගා සිටීමෙන් කූස්ටරෝග ඇති දරුවන් උපදියි.

නියපොතූ කැපීමෙන් වන දෝෂය වන්නේ ඇයට උපදින දරුවන්ගේ නිය හා දත්වල විකෘතිතා ඇතිවීමයි.

එසේම මෙම දිනවල දැරිය අදිකව කථා කලොත් ඇයට පසුවට උපදින දරුවන් ගොත ගසන නැතහොත් ගොළු බවට පත්වෙන දරුවන් වීමටත් බෙහෙවින් ඉඩ තිබේ.

දැරිය කොක්හඬලා අදිකව සිනාසෙමින් මෙම දිනවල ගතකරන්නේ නම් විවාහයෙන් පසු ඇයට ලැබෙන දරුවන්ගේ මුහුණ අවට කළු ලපයක් එන අතර දත්වලද කිසියම් විකෘති තාවයක් මතූකරයි.

ඉතා සද්දකරමින් කථා කලොත්, අදික සබ්දයෙන් සංගීතයට සවන් දුනහොත් මේකාලයේ තාලයට ජංගම දුරකතන අනුසාරයෙන් ද සංගීතයට සවන් දෙමින් මෙම දිනවල හැසිරුනොත් ඇයට ලැබෙන දරුවන් ද ශ‍්‍රවණාබාධ නැතහොත් හිසෙහි හා හිසකෙස්වල රෝග ඇති අය බවට පත්වේ. විශේෂයෙන් කිවයුතූ වන්නේ සුබ මොහොතකට ස්නානය කිරීමට පෙර මල්වරවූ දියණිය මෙවැනි දෝෂ සහිත හැසිරීම් හි යෙදෙමින් ගතකරන්නේ නම් පසු කලෙක ඇයට උපදින ¥දරුවන්ට ඉහත සදහන් රෝගී තත්ත්වයක්, විකෘතිතාවයක් අංඟවිකලත්වයක් ඇතිකරන බැව් ශාස්ත‍්‍ර නියමයවේ.

ඒ එසේම මසක්පාසාවන ඔසප් තත්ත්වයට පැමිණි ස්ති‍්‍රය ද ් අවිහිංසක වීමද, බ‍්‍රහ්මචර්යාවෙහි හැසිරීමද තණ ඇතිරිලිවල සයනය කිරීමද, ස්වාමියාගේ දැකීමෙන් වැළකීමද, දෝතියේ හෝ මලාවක හෝ පත‍්‍රයක හෝ අනුභව කිරීමද කටයුතු වේ. කඳුළු හෙලීම, නිය කැපීම, ඇඟ ඉලීම, සඳුන් ආදී සුවඳ ආලේප කිරීම, අඳුන් ගෑම, ස්නානය කිරීම, දවල් නිදා ගැනීම, දිවීම, මහාශබ්ද ශ‍්‍රවණය කිරීම, සිනාසීම, බොහෝ දෙඞීම, වෙහෙසීම, බිම හෑරිම, වාත වේගය ඉසිලීම යන මේ කරුණු වලින්ද තුන් දිනක් ගත වන තුරු වැළකිය යුතු වේ. මේ දක්වන ලද කරුණු වලින් සස්වාමික වූ ස්ති‍්‍රයකුගේ ගර්භාධානයට හේතු මල්වරයෙහිදී හැසිරිය යුතු විධි හැර අනික් සියළු විධි ප‍්‍රථමාර්තවෙහිදී ද මසක් පාසා සිදු වන සාමාන්‍ය රජස් කාලයෙහිද සියළු ස්තී‍්‍රන් විසින් පිළිපැදිය යුතු වේ. මෙසේ හැසිරීම සදාචාරයක් මෙන්ම නොව එයින් වන දෝෂයන්ගෙන් මිදීම පිණිසද කටයුතු බැව් පැවසේ. මෙකී ලෙස නොහැසිරීමෙන් සිදුවන දෝෂයෝද බොහෝමය.

අවධාරණයෙන්ම කිවයුතූ වන්නේ දැරියක් මල්වර වූ දින සිට රාතී‍්‍ර 3ක් ගතවූ පසු සිව්වන දින අළුයම සුබ මුහුර්තයක් බලා ස්නානය කරවීම ද ශාස්ත‍්‍ර නියමය බැව් සිත්හි තබාගන්න. සතිය දෙක ළමයාව ගෙටකර, තබා මඟූල් තූලා සාද පවත්වා කූළකූමරිය ප‍්‍රදර්ශන භාණ්ඩයක් කර ගමට රටට පෙන්වීම ශාස්ත‍්‍ර නියමය නොවන අතර එය වැඩිහිටියන්ගේ අනුවන කි‍්‍රයාවක් ලෙස සදහන් කිරීමටත් සිදුවේ. අප වත්මන් සමාජය කලයුතූ දේ නොකරන, නොකලයුතූ දේ කරන සමාජ පරිවර්ථනයකට පත්ව ඇති බැවිනි. 

මල්වරදෝෂ පහකර ගැනීමට ක‍්‍රමෝපාය:-

මෙලෙස විෂ කන්‍යා යෝගයකින් හා වෙනත් ග‍්‍රහදෝෂ පැවැති මොහොතක කිසියම් දැරියක් මල්වර වූයේ නම් මෙය දෝෂ සහගත මල්වරයක් ලෙස පිළිබිඹුවේ. විෂ කන්‍යා යෝගයෙන් මල්වරවූ ස්ති‍්‍රයගේ භාග්‍ය හීනය. ඇයට කුමන සැප සම්පත් උපතින් උරුම වුවත් නිරන්තරයෙන්ම දුක් ශෝකයෙන් කනස්සල්ලෙන් පසුවන තැනැත්තියකි. බොහෝවිට විවාහයෙන් පසු මෙවැනි ජීවන තත්ත්ව ඇයට උරුමවේ. සැප සම්පත් උරුමකරගනිමින් සුඛෝපභෝගී ජීවිත ගතකල ඇතැම් ළඳුන් නුසුදුසු නොහොබිනා හිතූවක්කාර විවාහ කරගෙන දුක්විදින අවස්ථා සමාජයේ කොතෙකූත් පෙනෙන්ට දකින්ට ඇත. එබැවින් මල්වරය මෙලෙස දෝෂ සහතවූ කල විවාහ දිවියේ සැප නොලබන්නීය. බොහෝ විට ස්වාමියාගේ ආදර සෙනෙහස නොලැබෙන තත්ත්වයක් ද ඇත. දරුඵල හීනය. නැතහෝත් දරුඵල නැසේ. ගබ්සා වේ. මේ ආදී වශයෙන් සිතෙහි සහනය සතුට පහ වී යන කුමන හෝ අතූරු ආබාධයක් පීඩාවක් මතු කෙරේ.

ඒ එසේ වුවත් මල්වර කේන්දරයේ වෙනත් ශුභ යෝග යෙදුණි නම් මෙය නසා මෙහි ඇති පිඩිත ප‍්‍රතිඵල භංග වී ගොස් ශුභ ඵල ගෙන දෙන බව සැලකිය යුතුයි. විශේෂයෙන් මල්වර කේන්දරයේ ලග්න භාවයේ හෝ සඳු ග‍්‍රහයා සමඟ බලවත් ශුභ ග‍්‍රහයකු යෙදුණු නම් මෙම ඉහත සඳහන් විෂ කන්‍යා යෝගයේ අපල ඇති නොවේ.

විෂ කන්‍යා යෝගයෙන් අශුභ ලෙස මල්වරය වී ඇත්නම් එම දෝෂ පහ කිරීම සඳහා විවිධ ශාන්ති කර්ම පුද පූජාවන් පවත්වා සෙත සලසා ගැනීමද ශාස්ත‍්‍ර නියමයකි. එසේ විෂ කන්‍යා යෝගයේ මෙන්ම මල්වර දොස්දුරු වන පූජා විධියක් නම් පහත සඳහන් වේ.

ප‍්‍රථමයෙන් මල්වරය වූ දැරිය ස්නානය කරවීමෙන් පසු ඊට අයත් සියලූ චාරිත‍්‍ර විධි කරවා ඉන් පසු සීලවන්ත ගුණවන්ත යහපත් වයෝවෘද්ධ කාන්තාවක් හට තල, මුං, ගිතෙල් මිශ‍්‍ර කිරිබතක් පිළියෙළ කොට පිරිනමා ඇයට කැවිලි ආදියෙන්ද සංග‍්‍රහ කොට එම කාන්තාව පරිහරණය කරන විධියේ අලූත් ඇඳුමක්ද ළමයා අතින්ම පිරිනමා තෑගි භෝගාදිය දී සතුටු සිතින් යවන්න.

අනතුරුව අසරණ ගැබිනි මාතාවකට ඇය ආශා කරන කෑම වේලක් සපයා දී ඇයද පරිහරණය කරන විධියේ පිරිසිදු අලූත් ඇඳුමක් තෑගි භෝග ලෙස පිරිනමා සතුටු සිතින් යවන්න. ඉන්පසු සැන්දෑ කාලයෙහි මනා ලෙස ශාස්ත‍්‍රය දත් ඇදුරකු ගෙන්වා නවග‍්‍රහ සෙත් ශාන්තියක් හොඳින් කරවා මල්වර වූ දැරියට සෙත් කරවා දොස් දුරු කරලීම කරන්නේ නම් අශුභ ලෙස මල්වරය වූ දොස් පහ කළ යුතු බව ශාස්ත‍්‍ර නියමය වී ඇත.

සැ:යු:

මෙලෙස පුද පූජා විධි පවත්වා ග‍්‍රහ ශාන්ති ආදී කටයුතු කළ යුත්තේ දිනය නැකත තිථිය යෝගය මෙන්ම කරණය යන පංචාංගයෙහි වැඩි කොටසක් අශුභ වී, විෂ කන්‍යා යෝගයද යෙදී ඇති දිනයක දෝෂ සහගත අයුරින් මල්වරය වී ඇති මොහොතකදී පමණි.

නමුත් අද වත්මන් සමාජය මේ මල්වර නැකතේ ශුභාශුභ තත්ත්වය මැනවින් තේරුම් නොගෙන ඒ කෙරේ කිසිදු තැකීමක්ද නොකර මල්වර වූ දැරිය වෙනුවෙන් බාහිර ආටෝපයක් ලෙස මල්වර උත්සවය ජයට ගෙන හුදු විනෝදාස්වාදය කෙරෙහි පමණක් ප‍්‍රමුඛත්වය දෙන අවස්ථා වැඩි බවක් පෙන්නුම් කරයි. එයින් එම දැරියට වන අයහපත කෙරෙහි කිසිවෙක් නොදනී.

බොහෝ දුරට මල්වර ශාස්ත‍්‍රයේ සඳහන් පරිදි දිනය, නැකත, තිථිය, යෝගය හා කරණය යන පංචාංගයට අමතරව මල්වරය වූ ලග්නය, වේලාව හෙවත් යාමය ස්ථානය, සූර්ය මාසය, චන්ද්‍ර මාසය, ඇඳි වස්ත‍්‍රය, විශේෂයෙන් එදින පැවැති ග‍්‍රහ බලය යනාදී දේවල් මගින්ද පලාඵල බැලීම සිදු වේ.

සූර්ය සංක‍්‍රමණය සූර්ය ග‍්‍රහණ චන්ද්‍ර ග‍්‍රහණ උල්කාපාත වල්ගාතරු ආදිය යෙදෙන අවස්ථා වැනි නිගමනයන් මගින්ද පලාඵල පැවසීමේ ක‍්‍රමවේදයක් මෙම මල්වර ශාස්ත‍්‍රයටම සම්බන්ධ වී ඇති නිසා එවැනි දෝෂ සහගත අවස්ථා හෝ තත්ත්වයන් සමනය වීම උදෙසාත් පහ කිරීම සඳහාත් පහත සඳහන් පරිදි මල්වර දොස් දුරු කිරීම සඳහා සර්ව ඖෂධ ජලයෙන් ප‍්‍රථමයෙන් ස්නානය කරවීමද දොස් දුරුවීමට හේතු වේ.

සුවඳ කොට්ටං, ජටා මාංශ, අමුකහ, වද කහ, වෙනිවැල්ගැට, මුරුවා මුල්, ගල් සෙවෙල්, සුදු හඳුන්, කලාඳුරු අල, සපු මල්කැකුළු යන ඖෂධ දහය ගෙන පිරිසුදු නැවුම් කලයකට දමා පිරිසුදු ජලය එහි පුරවා එම බෙහෙත් ද්‍රව්‍ය දැමූ පැන් කළය 108 වාරයක් පහත සදහන් කරන දැහැණින් මතුරා ඉන් පසු ගින්නෙන් කකාරවන්න. මෙය නිවුණු පසු තම මව හෝ වැඩිහිටි කණවැන්දුම් නොවූ හිතවත් සමීප ඥාති ස්ති‍්‍රයක් ලවා එම ඖෂධ කලයට ජය පිරිත සත් වාරයක් කියවා ආශිර්වාද කොට ප‍්‍රථමයෙන් දැරියගේ හිසට එම ඖෂධ ජලය වත්කර එම කළය කිරි ගසක ගසා බිඳ දැමිය යුතුයි.

මල්වරය වී තෙදිනක් ගත වූ පසු සිව් වැනි දිනයේදී ශුභ දින ශුභ නැකැත් හෝරා ඇති මොහොතක ස්නානය කරවීමද ශාස්ත‍්‍ර නියමය වේ. දින සති ගණන් හිඳුවා තබා ගැනීමද ශාස්ත‍්‍ර නියමය නොවේ.

දිනයට, නැකතට, තිථියට, යෝගයට, කරණයට හා මාස වස්ත‍්‍ර ලග්න හෝරා යාම කාල ආදී සියලූ දෙයින් වන ොදස් පහ කිරීමට වෙන් වෙන් වශයෙන්ද පූජා විධි ඇතත් ඒවා මෙහි අන්තර්ගත කිරීම අසීරු බැවින් පොදුවේ කළ හැකි කළ යුතු පූජා විධිය පමණක් සටහන් කිරීමට උත්සාහ ගත්තෙමි.

ඖෂධ කලය 108 වර මතුරන දැහැන.

 ඕං නමෝ මහාවිනායකාය අමෘතං රක්ෂික්‍ෂේ  මම ඵල සිද්ධිං දෙහි දෙහි රුද්‍ර වචතෙශවාහා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *