දේශීය ආහාර සංස්කෘතිය මියදෙන්නට පෙර

ශ්‍රී ලාංකිකයින්  වශයෙන් අපි දැන් සියල්ලන්ට ම වඩා මායාවන්ට නැඹුරු වූ ජනතාවක් යැයි සිතේ. බොහෝ අයගේ හද  මෙන්ම මනස ද විකලාංග වී ඇති සැටියකි.

මේ හේතුවෙන් ලාංකීය සමාජයේ භෞතික අභෞතික සියලු ම සාධක වලින් සමන්විත ආවේනික සංස්කෘතික සාධක මියැදෙමින් තිබේ. සංස්කෘතික කම්පනය හෙවත් තම සංස්කෘතියෙහි පවතින උසස් සාධක වෙනත් සංස්කෘතීන්ගේ ආක්‍රමණයන් නිසා බිඳවැටීම ගැන බහුතර පිරිස් ගණනකට ගන්නේ නැත. දේශීය ආහාර සංස්කෘතියට ද අත්වී ඇත්තේ එමඉරණමයි.


බහුතරයකට නොතේරෙන ගොලීයකරණය, ඒ ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාරික ආධිපත්‍ය, නව වෙළඳපොළ ව්‍යාප්තිය, මේ සියල්ලට ඉනිමං තනන ජනමාධ්‍ය හා නවමාධ්‍ය ක්‍රියාවලිය ආදී බොහෝ සාධක ලාංකේය ජනතාවගේ ආකල්ප වෙනස් කර හමාරය. තම රටේ සිට බටහිර සාධක අනුගමනය කරන්නේ එම හේතුවෙනි. මුළු ලෝකය තුළ ම එකම ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගීම ගෝලීයකරණයේ පරමාර්ථයයි. එලෙස දැනට ගොඩනැගෙමින් පවතින ඒකීය සංස්කෘතිය බටහිරවාදී සංස්කෘතියක් බව කවුරුත් සිතන්නේ නැත. එසේනම් මෙය බටහිර රටවල උපක්‍රමයකි. ඔවුන්ගේ භාණ්ඩ හා සේවා දේශ සීමා ඉක්මවා නිදහසේ ගලා යන්නට  සලස්වා, ඉන් අනතුරුව ඒවාට මාධ්‍ය හරහා ප්‍රචාරය ලබා ගනී. ඒවායෙහි පවතින පහසුව, සුඛනම්‍ය බව කරණකොට ජනතාව විසින් මහත් අභිරුචියන් එම භාණ්ඩ හා සේවා පරිහරණය කරයි. එයින් සිදුවන්නේ බටහිර රටවල බහුජාතික සමාගම් පෝෂණය වීම බව නොකිය මනාය‍. අතීතයේදී පිටරටට ණය නොවූ අප, අද ණය බරින් මිරිකී සිටී. උපක්‍රමශීලීව අප රටෙහි ව්‍යාප්ත වූ විදේශීය සාධක වැලඳ ගැනීමත් ඒවා පරිහරණයට සියළු සේසත විය පැහැදම් කිරීමත් මීට ප්‍රධානතම හේතුව වී තිබේ. දේශීය දේ පාගා නොදන්නා දේ පිටුපස හඹා යාමට තරම් අප රට ජනයා මහා මායාවකට නැඹුරු වී ඇතැයි සඳහන් කරන්නේ එහෙයිනි. විශේෂයෙන්ම ලාංකේය සංස්කෘතිය බිඳීම වැඩිහිටි හා බාල පරපුර අතර අරගලයක් බවට පත්ව තිබේ. බාල පරපුර විසින් ගෙනයන විරෝධී සංස්කෘතික රටාවන් නිසා වැඩිහිටි පරපුර දේශීය සංස්කෘතිය වියැකී යාම නිසා කම්පනයට පත්ව සිටී. එහෙත් දැන් දැන් වැඩිහිටි පරපුරද නව සංස්කෘතික ප්‍රවාහයට සිය සිත යොමුකර ඇති බව පෙනේ.

එය ගෝලීයකරණ පරමාර්ථ කඩිනමින් මුදුන්පමුනුවාගැනීමටපහසුකම්සැපයීමක්වැනිය.දේශීය ආහාර සංස්කෘතියට අත්ව ඇති ඉරණම, දේශීය සංස්කෘතිය විතැන් වීම පිළිබඳ ප්‍රබල සාක්ෂීයකි. එදා ගම, ගම ගෙදර අද අරුමයක් වී තිබේ. දේශීය ආහාර යන සාධකය අභිමුව දේශීය සංස්කෘතිය මතුවූවා පමණක් නොවේ. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත හා බැඳෙන ප්‍රධාන සාධකයක් ලෙස ද දේශීය ආහාර සංස්කෘතිය පෙරමුණ් සිටී. බුදු වදනට අනුව නීරෝගීකම පරම ලාභයයි, එසේ නීරෝගී වීමට නම් “ සිය රට දේ – සිරි සැප දේ” යන තේමාවෙන් කටයුතු කළ යුතුය. දේශීය ආහාර යනු සම්මතයෙන්ම ඖෂධ ය. පැහැදිලි බසින් කියන්නේ නම් මෙරට ආවේණික ආහාර පරිභෝජනය ඖෂධ පරිභෝජනය  කිරීමක් වැන්න. එවිට පරම ලාභය වන නීරෝගී කම සුරක්ෂා වන්නේ ය.නවීකරණය වීම අත්‍යවශ්‍ය ය. එහෙත් එය පවතින සමාජයට ආවේණික ක්‍රම පද්ධතියක් ඔස්සේ සිදුකල යුතු වේ. නැතිනම් ආගන්තුක නොවන, සරල, දිවියට සමීප, මුදල් වියදම් නොවන අතිශය හිතකාමී සංස්කෘතික සාධක පවා යටපත් වීම වැලැක්විය නොහැකියි. සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම වැළැක්විය නොහැකියි. සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම යනු නවීකරණය නොවේ. රට ක අනන්‍යතාවය රකින සංස්කෘතික බැම්මට හානි නොවන පරිදි ඒ හැම දේම ගලපා ගැනීමයි, නිසි නවීකරණය ලෙස සලකන්නේ.දේශීය ආහාර සංස්කෘතිය තුළ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් බහුතර ප්‍රමාණයක් ගෙවත්තෙන්, හේනෙන් සපයා ගන්නා ලදි. සැබැවින්ම එය ස්වයංපෝෂීත බව කියා පෑමකි. කෙටියෙන්ම කියතහොත් ලාංකිකයන් වවාගෙන කන්නට පුරුදු වී සිටි පිරිසකි. ගම ආසන්නයේ හේනෙහි කුරක්කන්, කවුපි, මුං වැනි ධාන්‍ය වර්ග, පළා වර්ග, වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්‍‍‍‍‍ෙඤාක්කා බතල ආදිය වැවීය. නිවස අසළ හිඟුරාල, රටල, බතල, කිරිඅල, කුකුළල ආදී අල වර්ග වවාගෙන සිටියහ. තවත් පසෙක කෙසෙල් පඳුරු කිහිපයක්, කහ, ඉඟුරු හා තවත් බෙහෙත් පැළෑටි වර්ග ද වවාගෙන තිබුණි. කුඹුරෙන් වී ටික ලැබුණු අතර කුඹුර අසල දෙනිකඩෙහි නිවෙසට අවශ්‍ය එළවළු වැවීය. පොල්පලා, ඉරමුසු, එලබටු, ඉරිවේරිය, කෝමාරිකා‍ හාතාවාරිය, වැල්පෙනෙළ ආදී දෑ හේනේ පිටියෙන්, නිවෙස අසළ ගෙවත්තෙන් සපයා ගැනීමට හැකිවිය. මේවා ප්‍රයෝජනයට ලබා ගන්නේ විටෙක ආහාර ලෙසයි, විටෙක බෙහෙත් ඖෂධ ලෙසයි. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ බොහෝ ආහාර ඖෂධ යැයි මීට පෙර සඳහන් කළේ එහෙයිනි. ආහාර සුරක්ෂීතතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී ඒ සඳහා අද මෙන් නවීන ක්‍රම නොතිබූ නමුත් කිසිදු අතුරු ආබාධ ඇති නොවන, විවිධ රසායනික භාවිතයන් නොමැති සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂීතතාවක් සිදුකර තිබේ. කෘමි නාශක, වල් නාශක ඉස වැවූ ආහාර නොතිබූ අතරම එම ආහාර සුරක්ෂීත කිරීමට ද එබඳු ක්‍රම අනුගමනය නොකලේය. බිස්ස, අටුව, දුම ආදී නිර්මාණයන් ආහාර සුරක්ෂීත කිරීමට යොදාගන්නා ලදි. ගෙදර වී බිස්ස නිතරම වී වලින් පිරී තිබුණී. දුම හා අටුව කජු, දෙල්, , අටු කොස් හා, කොට්ට පොල් ආදියෙන් සමන්විත විය. කුස්සිය මුල්ලේ කොස් ඇට මුල්ලකි. අවුවේ වියළා එළවළු කල් තබා ගන්නේ ය. වැව් මාළු, මස් ලිපට උඩින් ඇති දුමේ දමා වේලාගෙන කල්තබා ගැනීමේ සම්ප්‍රදායක් පැවතිනි.කුරක්කන් රොටියක්, කුරක්කන් පිට්ටුවක්, කුරක්කන් තලපයක් නොමැති ගෙදරක් නොවී ය. සෑම දිනකම ගත්තේ සමබර ආහාර වේළකි. දිනෙන් දිනට වෙනස් මැල්ලුමක් බතට එකතු විය. කුමන හෝ වර්ගයක කැඳක් සෑදිණි. නීරමුල්ලිය, පොල්පළා, රණවරා ඉරමුසු ආදිය තේ වෙනුවට යොදා ගත්හ.මෙකී ක්‍රමවේද තුල සමබර ආහාර වේළක් භුක්ති විඳීමත්, දිනෙන් දින වෙනත් ආහාර ලබා ගැනීමත්, වෙහෙස වී වැඩකරන නිසා සහ ගන්නා ආහාර ශරීරයට අහිතකර නොවන නිසාත්, පෙර ශ්‍රී ලංකාවේ නිරෝගී ජන පරපුරක් වාසය කළේය‍. මුදල් සෙවීමට කිසිදු තරගයක් නොතිබූ නිසාත් ගැටුම් ද ඇති නොවීය. තම අවශ්‍යතා සපුරාගෙන සමඟියෙන් සමාදානයෙන් දිවි ගතකර තිබේ. අද දවසේ පරි‍භෝජනයට නොව වෙළදාම සඳහා සියල්ල සිදුකරන අතරවාරයේ ආහාර නිෂ්පාදනය සිදුකරන්නේද විකිණීමටය. වවාගෙන කෑම නොව වවා විකිණීම සිදුකරයි. එවිට සෞඛ්‍ය සම්පන්න බව ගැන සිතන්නේ නැත‍. රසායනික පොහොර, කෘමිනාශක ආදිය ඉතා තදින් භාවිත කර මහා පරිමාණයේ විවිධ වගාවන් සිදුකරන අතර ඒවා පරිභෝජනය කරන්නන් ඉතා කෙටි කාලයකින් රෝගීන් බවට පත්වේ. එමෙන්ම ඒ සියල්ල කඩපලට විකුණා, කඩෙන් ගෙදරට  අවශ්‍ය සියළු දේ මුදල් දී රැගෙන එයි. ඒ ගෙන එන ආහාරවලින් වැඩි කොටසක් විවිධ රසකාරක, රසායනික සංයෝග සහිත කෘත්‍රීම උපක්‍රමයන් භාවිත කර සකසන ලද ආහාර වර්ගය. තම කුඹුරෙන් ලබාගත් වී වලින් සකසා ගත් සහලේ බත සහ ගලේ ඇඹරූ පොල් සම්බෝලයක බලයෙන් සුළු ප්‍රමාණයක් හෝ අප කඩපලෙන් අද මිලදී ගන්නා ආහාරවල අන්තර්ගත නොවේ. ඉවූ බතට “ Rice” යැයි ඉංග්‍රීසි පදය කීමටත්, ඒවා රසකර කෑමටත් පුරුදු වී සිටින සැටි කාටත් ආගන්තුකක නැත. නමුත් එයින් එනතුරු විපාක කිසිවිටෙක වර්තමාන පරපුර ගනණකට ගන්නේ නැත. පැය ගණනක් මඳ ගින්නේ පදම්කර බතට එක්කරගන්නා පොළොස් ඇඹුල ඉවතට යන්නේ, සම්ප්‍රදාය, අපේකම, පාරම්පරික දේශීය ඥාණය ආදිය කොන්දේසි විරහිතව ප්‍රහීන කර ඇති නිසයි. 
“ චූන් පාන් “ ළඟටම එද්දී කොතරම් පහසුවක් ද..? ආහාර සකසා ළඟටම ගෙන දෙන මුත් සැබැවින්ම ආහාර ඇතුළත සිටින්නේ මිනිසුන් රෝගී කරන මාරාන්තික රකුසෙකි. බටහිරින් පැමිණි තිරිඟු පිටි මහත් අභිරුචියෙන් දෛනිකව භාවිත කරන ලාංකේය ජනතාව කුරක්කන් සොයන්නේ වැඩ  වැරදුනු පසුවය. බෝ නොවන  රෝග බොහෝමයක ආරම්භය සටහන් වන්නේ අප එදිනෙදා ගන්නා ආහාර මඟිනි. එම ආහාර වවන මොහොතේ සිට ආහාරයට ගන්නා අවස්ථාව දක්වා විවිධ අහිතකර විෂ ද්‍රව්‍ය එකතු වේ. වැවීමට රසායනික, කල් තැබීමට රසායනික, පිසීමට රසකාරක ආදී වශයෙන් ගලපා බැලූ විට අපි ශරීර ගතකරගන්නේ පෙර මෙන් පිරිසිදු ආහාර, බෙහෙත් ඹෟෂධ බඳු ආහාර නොවේ. වස විෂ පමණි. රෝහල්වලට ඔරොත්තු නොදෙන තරමට ලෙඩුන් පිරීමට මුඛ්‍ය හේතුව මෙය වී තිබේ. වැළඳෙන ඇතැම් රෝග මොනවාදැයි හඳනා ගැනීමටත් අසීරුය. ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දේශීය සංස්කෘතිය හා බැඳි පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර පරිභෝජන රටාවක් නොතිබීමයි. අවසානයේ මුදල් සෙවීමට සිදුකල සියළු ප්‍රයත්න වලින් සපයාගත් මුදල් පමණක් නොව, තවත් ණය වී පවා ලෙඩ සුවකර ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සිදුවේ. මන්දයත් බටහිරින් හඳුන්වා දී  ඇති බොහෝ ආහාර වර්ග ශරීරයට අහිතකර ක්ෂණික ආහාරවර්ග වන අතර ඒවායෙහි ආකර්ෂණීය රසයක් පවතී. ක්ෂණිකය, පහසුය, නමුත් ගුණ හීනය. මොහොතක රසය විශාල මුදලක් ලබා දී සපුරා ගැනීමේ ආදීනව මතුවන්නේ කලක් ගතවූ පසුවයි.
ජනමාධ්‍යයේ හා වෙළෙන්දන්ගේ මිතුරු සබඳතාවය හරහා විවිධ ආහාර පරි‍භෝජන රටාවලට පුරුදු වූ ශ්‍රී ලාංකික ජනයා සිදුකර ඇත්තේ තම දිවි පරදුවට තබා ජනමාධ්‍ය හා වෙළෙන්දන් පෝෂණය කිරීමකි. මෙම තත්ත්වය වර්තමාන පරපුර ඉතා කඩිනමින් තේරුම්ගත යුතුව තිබේ. නැතහොත් දේශීය සංස්කෘතිය හීනවනවා පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවම ලෙඩුන්ගෙන් පිරි රටක් බවට පත්වීම වැඩි ඈතක නොවේ. දැනටමත් බිළිඳු දරුවනට පවා දියවැඩියාව වැනි රෝග වැළදීමට පටන්ගෙන තිබේ. දැනට අනුගමනය කරන ආහාර රටා එලෙසම පැවතියහොත් එකී ඛේදනීය තත්ත්වයන් තව තවත් උග්‍ර වනු ඇත. සියළු ජනතාව ජනමාධ්‍යයේ ගැත්තන් වශයෙන් පසුවන සමයෙක ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප යහපත් අතට හැරවීම අසීරුය. බාල, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම තත්ත්වය එබඳු බව අතිශය භයානක තත්ත්වයකි. නමුත් දැන් දැන් ක්‍රියාවට නංවන දේශීය වී වගා ව්‍යාප්තිය, දේශීය පලතුරු වැවීමේ පලතුරු ගම්මාන වැඩසටහන්, ගෙවතු වගා සංකල්පය, වල් නාෂක තහනම් කිරීම්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරු කිරීම්, ආදී ක්‍රමවේද පැසසුමට ලකකල යුතුය. එමෙන්ම ඒවා ක්‍රියාත්මක කරන පිරිස් මනා සංවර්ධනාත්මක සන්නිවේදනයක් හරහා ජනතාව වෙත මෙම ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දැන්විය යුතුය. නැතිනම් මුදලට සියල්ල කල නොහැකි බව දැනගන්නා විට ගොඩගත නොහැකි විනාශයක් මෙරට ජනතාවට අත්වීම වැළැක්විය නොහැකියි.

ෂෙල්ටන් බණ්ඩාර,

අනුරාධපුරය.

උපුටා ගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *